HOT

5/recent/ticker-posts

Header Ads Widget

Buy Nasrudin Books

උපත් පාලනය - නම අලුත් වුනත් වසර 3500ක් පැරණි දෙයක්!

උපත් පාලනය (Birth control) යනු මානව ප්‍රජනනය සීමා කිරීම යි; අත් හිටුවීමයි. ලෝක ජනගහනය ක්‍රමයෙන් වැඩි වන්නට පටන් ගැනීමත් සමඟ උපත් පාලනයේ වැදගත් කම මිනිසාට අවබෝධ වන්නට වුණා. මිනිසාට කලින් මේ උපත් පාලනය පටන් ගත්තේ සතුන් අතරයි. ප්‍රමාණවත් තරම් ආහාර නොමැති කාලවල ඇතුන් සිංහයන් හා කොටියන් පැටවු බිහි කළේ නැහැ. එය ඔවුන් සිදු කළේ ගැහැනු සතුන් හා පිරිමි සතුන් එක් නොවී සිටීමෙනි; ගැබ් ගන්නා කාලයේ දී සංසර්ගයේ නොයෙදීමෙනි. 

අද නම් උපත් පාලනයට, ලිංගිකව එක්වීමෙන් වැළකී සිටීම (sexual abstinence), ශුක්‍රාණු පහ වීමට පෙර ඉන් ඉවත් වීම (coitus interruptus) ආදියට වඩා පිළිසිඳ ගැනීම වැළක්වීම සඳහා වෙනත් නොයෙකුත් ක්‍රම තිබෙනවා. උපත් පාලන පෙති, කොපු (කොන්ඩම්), සැත්කම් මගින් වන්ධ්‍යකරණය (sterilization) හෙවත් වඳ බවට පත් කිරීම ආදී විවිධ ක්‍රම ගණනාවක්ම තියෙනවා. පවුල් සෞඛ්‍ය සායනයකට ගියොත් දැන ගන්න පුළුවන්. 

අන්තර් ජාලයෙන් උපත් පාලන ක්‍රම ගැන සෙව්වොත් ඔබට පහසුවෙන් ම ඒ තොරතුරු,, ස්වාභාවික ඔසප් චක්‍රය ආශ්‍රිත කැලැන්ඩර් ක්‍රමය, ලූප් භාවිතය, ඩිපෝප්‍රොවේරා එන්නත හෝ සම යට තැන්පත් කරන ඉම්ප්ලාන්ට් ක්‍රමය, පිරිමින්ට වාසක්තෙමි වැනි වන්ධ්‍යකරණ සැත්කම් ආදිය ගැනත් දැන ගත්තෑකි. 

ඒ වගේ ම අනවශ්‍ය දරුවකු පිළිසිඳ ගතහොත් සමහර රටවල කතුන්ට ගබ්සා කර ගැනීමටත් නීතියෙන් අවසර තියෙනවා. අපේ රටේ එවැනි අවසරයක් නීති මගින් ඇති කර නැහැ. 

මේ උපත් පාලනය අනාදිමත් කාලයක සිට ලෝකයේ පැවතුණු දෙයක් වුවද මේ උපත් පාලනය (Birth control) යන ඉංග්‍රීසි වදන ලෝකයට හඳුන්වා දෙනු ලැබුවේ 1914 දී ඇමරිකා එක්සත් ජනපද හෙදියක විසිනුයි. සමාජ ක්‍රියාකාරනියක වූ මාගරට් සැන්ජර් (Margaret Sanger, 1879-1966) පළමු වරට ඇමරිකාවේ ඒ සඳහා සායනයක් ආරම්භ කළා. මව්පිය පදවිය සැලසුම් සහගතව පවත්වා ගෙන යාමට උපකාර කිරීමට ආරම්භ කළ මේ පවුල් සැලසුම් සායනය සෞඛ්‍යය අතින් ලොව පුරා ලොකු පෙරළියක් කළා. 

  පවුල් සැලසුමට මග පෑදූ මාගරට් සැන්ජර්

“ඇගේ නිදහස කරා යන ගමනේ දී කාන්තාවක් විසින් තැබිය යුතු මුල් පියවර උපත් පාලනයයි” මාගරට් සැන්ජර් විසින් කියා තියෙනවා. 

උපත් පාලනය පිළිබඳව කළ පැරණිම ලිඛිත සඳහන එන්නේ ඊජිප්තුවෙන් (මිසරයෙන්). මීට වසර 3573කට පෙර, එනම් ක්‍රිස්තු පූර්ව 1550 දී පමණ, වියළි පැපිරස් පත්‍රවල ලියන ලදැයි සැලකෙන ඒවා හැඳින්වෙන්නේ ඊජිප්තු එබර්ස් පැපිරස් (Egyptian Ebers Papirus) පත්‍රිකා කියායි. ලොව පැරණිම වෛද්‍ය වාර්තා ලෙස සැලකෙන ඒවා ලියා ඇත්තේ වේළා ගත් පැපිරස් කොළවලයි. අපේ පුස්කොළ පොත් හා සමාන ඒ පත්‍රිකා ‘එබර්ස් පැපිරස්’ කියා නම් කර ඇත්තේ, ඊජිප්තුවේ ලක්සූර් නගරයේදී, 1873 දී ඒවා මිල දී ගත් ජර්මන් ජාතික ජෝර්ජ් එබර්ස්ගේ නම අනුව යමිනුයි. ඒ සටහන ඇතුළත් වෛද්‍ය වාර්තා පැරණි මිසර බසින් ඉංග්‍රීසියට පරිවර්තනය කර පොතක් වශයෙන් මුද්‍රණය කරලා තියෙනවා. 

වසර 3500කට වඩා පැරණි එබර්ස් පැපිරස් වෛද්‍ය තොරතුරු 
ඉංග්‍රීසියට පෙරළා පළ කර ඇති පොතක්.

එහි උපත් පාලන ක්‍රමයක් ලෙස රට ඉඳි, මී පැණි හා ඇකේසියා තලපයක් ලෙස අඹරා ගෙන වූල් සමක ආලේප කොට යෝනි ගත කිරීමට පෙසරියක් (pessary)‍ තනා ගන්නා හැටි දක්වා තියෙනවා. තවත් උපත් පාලන ක්‍රමයක් ලෙස සතුන්ගේ අතුනු බහන්වලින් තැනූ කොන්ඩම් ඒ කාලයේ භාවිත කළ බවද සඳහන් වෙනවා. ‍ඒ වෙනුවට රබර් යොදා ගනු ලැබුවේ 1839 දියි. ඒ වගේම අලුත් උපත් පාලන ක්‍රම බොහොමයක් ආවේ 19 වැනි සියවසෙන් පසුවයි. 

උපත් පාලනය වැදගත් වන්නේ ජනගහනය පාලනයට පමණක් නොවෙයි. මවගේ සුව සෙත සඳහාත් අවශ්‍ය වෙනවා. ඒ වගේ ම පවුලක බර දරන්නට අපහසු තත්වයක් ඇති වීම වළක්වන්නත්, දරුවන් වැඩි වීමෙන් ඇති වන ආර්ථික හා සමාජ ගැටළු මග හරවා ගන්නත් උපත් පාලනය අත්‍යවශ්‍යයි. 

18 වැනි සියවසේ දී බිලියන එකටත් අඩු වූ ලෝකයේ ජනගහනය දැන් බිලියන 8ත් පැනලා. 2100  වන විට මෙය බිලියන 16ක් වෙතැයි ගණන් බලා තියෙනවා. ගිය අවුරුද්දේ ලෝකයේ වැඩිම ජනගහනයක් ඇති රට වූයේ චීනයයි. එත් අද වෙන කොට ඒ වාර්තා ඉන්දියාව විසින් උදුරාගෙන තියෙනවා. එක්සත් ජාතීන්ගේ සංඛ්‍යා ලේඛන අනුව ඉන්දියාවේ ජනගහනය 2023 නොවැම්බර් 19 වැනිදාට 1,433,662,223ක්. චීනයේ 1,425,671,663ක්. ශ්‍රී ලංකාවේ ජනගහනය 2021 දි මිලියන 22.16ක්. අපේ ‍රටෙත් මේ වසරේ රජය මගින් දැන් අලුත් සංගණනයක් පැවැත්වෙනවා.

- පර්සි ජයමාන්න 

Post a Comment

2 Comments

  1. ඉස්සර පවුල් වලට දරුවන් ගොඩක් ඕනේ උනා. කෘෂිකාර්මයෙන් දිවි ගෙවු මේ පවුල් වලට කෘෂිකාර්මික වැඩ කටයුතු වලට වැඩි ශ්‍රමයක් ඕනේ උනා. ඒ සදහා ලොකු පවුල් ඕනේ උනා. ඒ වගේම පොඩි කාලෙම හැදෙන ලෙඩ රෝග , සතා සරුපයගෙන වෙන හානී නිසා ලමයි දෙතුන් දෙනෙක් වැඩිහිටියන් වීමට පෙරම මියැදෙනවා. ඒ නිසාම ලමයි කොච්චර හැදුවත් වැඩියක් උනේ නෑ.
    ඒත් කෘෂිකර්මයෙන් ඉවත් වෙලා වෙනත් ආර්ථිකයක් මත පවුල් ගොඩ නැගෙන විට ලොකු පවුලක් නඩත්තු කරන එකාඩු උනා. ඒකට බලපෑවේ සල්ලි නොමැති කම.
    මේවත් එක්ක තමයි මං හිතන විදිහට පවුල කුඩා වෙන්න බලපෑවේ. - Mayya - https://maiyyagelokaya.blogspot.com/

    ReplyDelete
  2. ඔබ හිතන දේ හරි ! වර්ගයාගේ පැවැත්මට තමයි පවුලේ විශාලත්වය ඇති වුණේ. ඒ වගේම දැන් ජනගහනය අඩු කරන්න හදන්නෙත් මිනිස් වර්ගයාගේ පැවත්මට කියලයි කියන්නේ. පුදුමය ඒකයි! ක්ෂය‍ ‍ව‍ෙන සම්පතවෙලට සරිලන්න ඇඳුම කපන්නයි දැන් හදන්නේ.

    ReplyDelete